කොළඹට වැස්ස කියන්නේ අලුත් දෙයක් නෙවෙයි.
අවුරුද්දේ මාස ගණනාවක්ම මේ නගරය තෙමෙනවා. වැස්සෙන් තෙමුණු පාරවල් ලයිට් එළියට වීදුරු වගේ දිලිසෙනවා. කුඩ අතේ තියාගෙන ඉක්මනින් යන මිනිස්සු. කුඩයක් නැති නිසා බෑග් එකෙන් ඔළුව වහගෙන දුවන මිනිස්සු.
ඒ හැම දේම කොළඹට සාමාන්‍යයි.
හැබැයි සමහර වැසි දවස් තියෙනවා. ඒ දවස් වෙනස්. එදා දවසේ විශේෂ දෙයක් වෙන්නේ නැහැ වගේ පෙනුණත්, කාගේ හරි ජීවිතේ වෙනස් කරන පුංචිම පුංචි දෙයක් එදාට වෙන්න පුළුවන්.
අහඹු නෙත ගැටීමක්. අහම්බෙන් ඇහුණු වාක්‍යයක්. වැරදිලා ආපු මැසේජ් එකක්. නැත්නම්, බලාගෙන හිටියත් නොආපු මැසේජ් එකක්.
ඒ වෙලාවේ අපි ඒ දේවල් ගැන වැඩිය හිතන්නේ නැහැ. ඒත් පස්සේ කාලෙක හැරිලා බලද්දී තමයි තේරෙන්නේ — ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ එතැනින් කියලා.
එදාත්, එහෙම දවසක්.
හවස හයයි විස්සට විතර ඇති. කොළඹ නගරය වෙනදා වගේම කලබලෙන් පිරී තිබුණා. වාහනවල හෙඩ්ලයිට් එළි වැස්සෙන් තෙමුණු පාරේ කැඩි කැඩී පෙනුණා. ත්‍රීවීල් වල ඈතින් ඇහෙන හෝන් සද්ද. බස් වල කබලෙන් ගහන බ්රේක් සද්ද ඒ අතර වුණා.
නාවල පැත්තේ පුංචි කොෆී ශොප් එකක් ඇතුළේ, ජනේලය ළඟ තිබුණු මේසයක පාරමී තනිවම ඉඳගෙන හිටියා.
කඩේ ඇතුළේ උණුසුම් කහ පාට ලයිට්. හෙමින් වාදනය වෙන ජෑස් සංගීතය. කුරුඳු සුවඳ. ජනේලයට වැහි බිංදු වැටෙන හඬ.
ඒ හැම දෙයක්ම හිතට සැනසිල්ලක් ලැබෙන දෙවල් වුණත්, පාරමීට ඒ වෙලාවේ ඒ කිසිම දෙයක් දැනුණේ නැහැ.
ඇය තමන්ගේ දුරකථනය දිහා බැලුවා.
තිරය නිහඬයි.
නොටිෆිකේෂන් එකක් නැහැ.
ඇය හුස්මක් හෙළලා දුරකථනය මේසය උඩ තැබුවා. ඒ තැබුවත් ඇගේ ඇස් දෙක නම් දුරකථනයෙන් අයින් කරගන්න බැරි වුණා.
“අදත් එයා මැසේජ් කරන්නේ නැද්ද?”
ඇය ඒක තමන්ටම මිමිණුවා.
සති තුනක් ගෙවිලා තිබුණා. ඇය බලාගෙන හිටිය මැසේජ් එක තාමත් ආවේ නැහැ. ඒ සති තුන පුරාම පාරමී දුරකථනය අතට අරන් බලන් හිටපු වාර ගණන ගණන් කරන්න බැරි තරම්.
උදේ ඇහැරුණු ගමන්. වැඩ අතරතුර. නිදාගන්න කලින්. රෑ මැද ඇහැරුණත්.
ඒ හැම වෙලාවකම සිදුවුණේ එකම දේ.
සිත් බිඳීමක් විතරයි.
පාරමී ආයෙත් දුරකථනය අතට ගත්තා. පරණ වට්සැප් සංවාද අතරින් සෙමින් පහළට ගියා. එක චැට් එකක් ළඟ ඇගේ ඇඟිල්ල නතර වුණා.
අවසාන මැසේජ් එක ඇය යවලා තිබුණේ සති තුනකට කලින්.
ඒක බලලා කියවලත් තිබුණා.
ඊට පස්සේ කිසිඳු ප්‍රතිචාරයක් නැහැ.
“මට මේ මොකද වෙලා තියෙන්නේ?”
ඇය තොල්වලින් විතරක් එහෙම කිව්වා. හිනාවෙන්න උත්සාහ කළා. ඒත් ඒ හිනාව ඇත්තටම හිනාවක් වුණේ නැහැ.
එකපාරටම කොෆී ශොප් එකේ දොර ඇරුණා.
වැස්සෙන් ටිකක් තෙමුණු කළු කමිසයක් ඇඳගත් තරුණයෙක් ඇතුළට ආවා. ඔහුගේ අතේ ලැප්ටොප් බෑග් එකක් තිබුණා. හිසකෙස් ටිකක් අවුල් වෙලා නළලට වැටිලා තිබුණා.
දොර ළඟ ටිකක් නතර වුණ ඔහු කඩේ පුරාම බැලුවා.
වැස්ස නිසා මේස හැම එකක්ම වගේ පිරිලා තිබුණෙ.
නමුත් එකක් හැර.
පාරමී ඉඳගෙන හිටිය මේසයේ ඉදිරිපස පුටුව හිස්ව තිබුණා.
ඔහු පාරමී දිහා බලලා, ටිකක් ලැජ්ජාවෙන් වගේ හිනාවෙලා.
“එක්ස්කියුස් මී… මේ සීට් එකෙන් ඉඳගත්තට කමක්නැද්ද?”
පාරමී තත්පරයක් ඔහු දිහා බැලුවා. නමුත් ඇගේ හිත තාමත් නොආපු මැසේජ් එකක් නිසා පියවි සිහියට එන්න ටිකක් වෙලා ගත්තා. ඉන්පසු ඇය හිස වනා.
“ඔව්, ඉඳගන්න.”
කියලා සිහින් හඬින් අවසරය ලබා දුන්නා.
“ස්තුතියි.”
පුටුව ටිකක් පස්සට ඇද ඔහු ඉඳගත්තේ දෑස් පාරමී දෙසටම යොමුකරගෙන ය.
පාරමී ආයෙත් දුරකථනය දිහා බැලුවා. තිරය තාමත් නිහඬයි.
ඔහු වේටර්ට පැමිණි පසු කෝපි එකක් ඇණවුම් කළා.
“බ්ලැක් කෝපි එකක්. සීනි නැතුව.”
විනාඩි කිහිපයක්ම දෙන්නා නිහඬව හිටියා. ඔහු තමන්ගේ දුරකථනය දිහා බලමින් හිටියා. පාරමීත් එහෙමයි. දෙන්නාම එකම මේසයේ ඉඳගෙන, දෙන්නා දෙන්නාගේම ලෝකවල හිරවෙලා වගේ.
ඒත් ටික වෙලාවකට පස්සේ පාරමීට අමුතු හැඟීමක් ආවා.
ඔහු තමන් දිහා බලනවා වගේ දැනුණා.
ඇය හිස උස්සලා බැලුවා.
ඒත් ඔහු ඒ මොහොතේ දුරකථනය දිහා බලාගෙනයි හිටියේ.
“මටම හිතෙන දේවල් වෙන්න ඇති,” පාරමී හිතුවා.
ඒ මොහොතේ මේසය මත තිබූ ඇගේ දුරකථනය අත වැදී මේසයෙන් ලිස්සලා බිමට වැටුණා.
ජෑස් සංගීතය මැදත් ඒ හඬ පැහැදිලිව ඇහුණා.
ඔහු ඉක්මනින් නැගිටලා දුරකථනය අරගෙන ඇයට දුන්නා.
“පරිස්සමින්.”
දුරකථනය ඇය ගන්නවිට ඇයගේ ඇඟිලි ඔහුගේ ඇඟිලිවල සියුම්ව ගැටුණේ තත්පරයකටත් අඩු වෙලාවක් වුණත් ඒක පාරමීගේ හිතේ රැඳුණා.
“ස්තුතියි,” ඇය කිව්වා.
ඔහු ආයෙත් ඉඳගත්තා. ටික වෙලාවක් ඇය දිහා බලාගෙන හිටියා.
“වැදගත් මැසේජ් එකක් එනකන් බලාගෙනද ඉන්නේ?”
පාරමී පුදුමෙන් ඔහු දිහා බැලුවා.
“ඇයි එහෙම අහන්නේ?”
“ඔයා දුරකථනය දිහා බලන විදිහෙන් පේනවා,”
ඔහු හිනාවෙමින් කිව්වා.
“කාගෙන් හරි විශේෂ පණිවිඩයක් ලැබෙනකම් බලාගෙන ඉන්නකොට තමයි මිනිස්සු ඔහොම බලන් ඉන්නේ.”
පාරමීගෙ මුවගට හිනාවක් ආවත් ඒත් ඒ හිනාවේ ලොකු සතුටක් තිබුණේ නැහැ.
“ඔයා හැමෝගේම දුරකථන පුරුදු දිහා මෙහෙම බලන් ඉන්නවද?”
ඔහුත් හිනාවුණා.
“නෑ. අද විතරයි.”
“ඒ ඇයි?”
කෝපි එක ගෙනැවිත් ඔහු ඉදිරිපිට තබා ගියා. ඔහු එයින් පොඩි උගුරක් බීලා පාරමී දිහා බලා.
“අද මට කෙනෙක්ව හම්බවෙන්න හිටියේ. ඒත් එයා ආවේ නැහැ.”
පාරමීගේ හිනාව සෙමින් මැකී ගියේ ඇගේ දෑස් පුදුමයෙන් සේ ඔහුගේ දෙසට යොමමිනි.
“මටත් ඒ වගේම දෙයක් තමයි වෙලා තියෙන්නේ.”
“ඔයාටත්?”
පාරමී හිස වැනුවා.
“ඔව්.”
එතනින් පස්සේ ඔවුන් කතා කළේ විනාඩි දහයක් විතර. ඒ විනාඩි දහයේදී ලෝකෙම වෙනස් කරන කතාවක් ඔවුන් නොකළත්.
චිත්‍රපට ගැන කතා කළා. වැසි දවසක අහන්න කැමති සින්දු ගැන කතා කළා. රෑ වැඩ කරන කොට බොන්න කැමති මොනවද වගේ දේවල් කතා කළා.
ඔහුගේ නම ආකාශ්.
ඔහු ඩිජිටල් මාර්කටින් ආයතනයක වැඩ කළේ. වෙළෙඳ නාම, දැන්වීම් ව්‍යාපාර, සමාජ මාධ්‍ය ගිණුම් — ඒවා තමයි ඔහුගේ වැඩ රාජකාරි වුනේ. කතා කරන විදිහෙන්ම තේරුණා, කරන වැඩ ගැන ආඩම්බර වෙනවාට වඩා ඒකට ඔහු ඇත්තටම කැමති කියලා.
පාරමී විශ්වවිද්‍යාල ඉගෙනුම ඉවර කරලා තමන්ගේම අන්තර්ජාල ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන හිටියේ. අතින් හදන තෑගි භාණ්ඩ, සටහන් පොත්, කාඩ්පත් වගේ කලාත්මක දේවල් විකුණන්න තමයි ඇයට අදහසක් තිබුණේ.
“ඒක නියම අදහසක්,” ආකාශ් කිව්වා. “මිනිස්සුන්ට දැන් එකම වගේ දේවල් පාවිච්චි කරලා එපා වෙලා. කෙනෙක් අතින් හදපු දෙයක් කියන්නෙ ඒක යුනික් දෙයක් හැමදේම එකකට එකක් වෙනස්, වටිනාකම වැඩී.”
එයා එහෙම කිව්වම පාරමීට අමුතුම සතුටක් දැනුණා. ඇගේ අදහසට කවුරුහරි ඇත්තටම සවන් දුන්නා වගේ දැනුනා.
දෙන්නම ත්‍රාසජනක චිත්‍රපට වලට කැමතියි. වැසි දවසක හෙමින් යන ගීත අහන්න කැමතියි. කෝපි තිත්ත වුණත් බොන්න කැමතියි.
ඒත් ඒ හැම සමානකමකටම වඩා, පාරමීට වෙන දෙයක් දැනුණා.
දෙන්නාම තමන්ගෙ හිතේ තිබුණු හිස් තැනක් ගැන කතා නොකළත්, ඒ හිස් තැන දෙන්නාටම දැනුණා.
වැස්ස ටිකෙන් ටික අඩු වුණා. ජනේලයේ වැහි බිං දු රේඛා මෙන් සෙමින් පහළට ගලාගෙන ගියා.
ආකාශ් අත් ඔරලෝසුව දිහා බැලුවා.
“මම යන්න ඕන.”
“හරි,” පාරමී කිව්වා.
ඇගේ හඬේ තිබුණු පොඩි කනස්සල්ල ඇයටම තේරුණේ ඔහු නැගිට්ටට පස්සේ.
ඔහු ලැප්ටොප් බෑග් එක උරහිසට දාගත් පසු.
“ඔයාව හම්බවුණ එක සතුටක්, පාරමී.”
පාරමී එකපාරටම නිශ්චල වුණා.
“මම මගේ නම කිව්වෙ නැහැනේ.”
ආකාශ් තත්පරයක් නිහඬව හිටියා.
ඒ තත්පරය ඉතා කෙටි එකක් වුණත්, පාරමීට ඒක දිගු වෙලාවක් වගේ දැනුණා.
ඊට පස්සේ ඔහු හිනාවෙලා.
“ඔයාගේ සටහන් පොතේ ලියලා තිබුණේ.”
පාරමී මේසය දිහා බැලුවා.
ඇගේ සටහන් පොත එතැන තිබුණේ ආකාශ් ඉඳගෙන හිටිය තැනට හොඳට පේන විදිහට. කවරයේ ඉහළින්ම, කළු පෑනකින් ලියලා තිබුණේ ඇගේ නම.
ඇය තමන් ගැනම ටිකක් ලැජ්ජා වුණා.
“අහ්… හරි.”
දොර ළඟට ගිහින් නැවතත් හැරුණු ආකාශ්.
“යන්නම්.”
කියා තොල් වලින් මිමිණුවෙ දුර ඉඳන් බලන කෙනෙක්ට වුණත් ඔහුගේ තොල් කියවීම තේරුම් ගන්න පුලුවන් විදිහට.
“හරි, ආකාශ්.”
පාරමීත් ඒ විදිහටම ඇගේ ප්‍රතිචාරය සිහින් සිනහවකින් ලබා දුන්නා.
ඔහු දොර ඇරලා වැස්සෙන් තෙත්වී විදුලි ආලෝකයෙන් ආලෝකමත් වී තිබූ නගරයට පිය නැගුවා. කෝපි කඩෙන් එළියට පිටවෙලා, පාට පාට පාරෙ ලයිට් අතරේ ඔහුගේ රූපය සෙමින් අතුරුදන් වී ගියා.
පාරමී ජනේලයෙන් ඔහු යන දිහා බලාගෙන හිඳ.
“අමුතුම කෙනෙක්,” ඇය හිස සොලවමින් ඇයටම තනියම හිනාවෙමින් කියාගත්තා.
ටික වෙලාවකට පසු ඇයද දුරකථනය අතට ගෙන එතනින් පිටව ගියා.
!පැය කිහිපයකට පසු…
එකපාරටම ජංගම දුරකථනයේ තිරය පත්තු වුණා.
**රාත්‍රී 11:11 **
නොටිෆිකේෂන් එකක්.
පාරමීගේ ඇඟිලි තිරය උඩ නතර වුණා.
සේව් කරලා නැති අංකයක්.
ඇය දුරකථනයේ අගුළු ඇරියා. ඇඟිලි ටිකක් වෙව්ලනවා වගේ ඇයට දැනුණා.
මැසේජ් එකේ තිබුණේ එකම එක වාක්‍යයක් විතරයි.
“අද ඔයාට හම්බවුණු අමුතුම කෙනා මමද?”
පාරමීගේ හදවත තත්පරයකට නැවතුණා වගේ දැනුණා.
ඇය මැසේජ් එක ආයෙත් කියෙව්වා. තව වතාවක් කියෙව්වා.
“මේ කවුද?” සිතමින්
ඇය ඉක්මනින් පිළිතුරක් යැව්වා.
– ඔයා කවුද?
මැසේජ් එක යැවුණා.
තිරයේ තිත් තුන පෙනුණා.
ලියනවා.
නවතනවා.
ආයෙත් ලියනවා.
පාරමී දුරකථන තිරය දිහාම බලාගෙන හිටියා.
ඊළඟ මැසේජ් එක ආවා.
අද කොෆී ශොප් එකේදි ඔයා මට කියපු දෙයක් මතකද?
පාරමීගේ ඇඟ සීතල වුණා.
ඇය ආකාශ් එක්ක කතා කළ දේවල් මතක් කළා. චිත්‍රපට. කෝපි. තනිකම ගැන හිතෙන හැඟීම. මේ වගේ කතා කරපු හැමදේම ඉවරයක් නැති ඔලුවට ගලාගෙන ආවෙ ඉතා නොඉවසිල්ලෙන්.
ඒත් ඇයට එවිටම මතක් උනේ අපි දුරකථන අංක හුවමාරු කරගෙන තිබුණේ නැහැනේ කියන සිතුවිල්ල.
එහෙනම් මෙයාට මගේ නම්බර් එක ලැබුනේ කොහොමද? මේ මැසේජ් එවන්නේ කවුද?
විනාඩියක් ගියා.
තව විනාඩියක් ගියා.
ඊළඟ මැසේජ් එක ආවා.
ඔයාට කියන්න බැරි දෙයක් මට කියලා ගියා.
පාරමීගේ ඇස් ලොකු වුණා.
ඇය ඒ අංකයේ ප්‍රොෆයිල් පින්තූරය දිහා බැලුවා.
එතැන තිබුණු පින්තූරය ආකාශ්ගේ එකක් නෙවෙයි.
පාරමීගේ හුස්ම නතර වුණා වගේ දැනුණා.
**මතු සම්බන්ධයි…**
#02 කොටසින්:
**ඒ අංකයේ ඇත්ත අයිතිකාරයා කවුද?**
🎁 Recent Gifts
🌹
Infinity Boy
💝 Support SureChat Stories
Loved this story? Send a gift or tip to show your appreciation!
🔒 Please login as a member to send gifts

What a beautiful Story, I can’t wait to read next episode please put it quickly.😍