රාත්‍රී 11:11
කොළඹ කියන්නෙම නොනිදන නගරයක්. දවස පුරාම මිනිසුන්ගෙනුයි වාහන වලිනුයි පිරුණු පාරවල් දැන් තමයි තරමක් හිස් වෙලා තියෙන්නේ. නමුත් විටින් විට වාහන කිහිපයක් තෙමුණු පාරවල් දිගේ වේගයෙන් ගමන් කළා. වීථි ලාම්පු වල කහ පැහැති ආලෝකය වැහි වතුර මත වැටිලා, පාරවල් දිලිසෙනවා වගේ පෙනුණා.
පාරමීගේ apartment එකේ කාමරයත් නිහඬයි. ඇය අද හවස 6:20ට පමණ, coffee shop එකේදී ඇයට හමුවුණු ආකාශ්ගෙන් සමුගෙන තමන්ගේ apartment එකට ඇවිත් දැන් පැය එකහමාරකටත් වැඩියි. ඒ හමුවීම අවසන් වෙද්දී දෙන්නා අතර කිසිම phone number හුවමාරු කරගැනීමක් වත් Social media ගිණුමක් ගැන දැනගැනීමක් වත් සිදුවුණේ නැති බව හොඳටම විශ්වාසයි. ඒත් ඒ කිසි දෙයක් සිදුවුණේ නැති වුණත්, පාරමීගේ මතකයේ ඔහුගේ හඬ තවමත් රැව් දිදී තිබුණා. ඇය wash එකක් දාගෙන ටවල් එක පිටින්ම ඇවිත් ඇඳෙන් වාඩිවෙනගමනුත් කරේ
“ඔයාව හම්බවුණ එක සතුටක්, පාරමී”
කියපු ඒ වචන මතක් කර කර තනියම හිනා වුණ එක. දවස පුරාම ඇගේ හිතේ තිබුණු stress එක යම් විදිහකට හෝ ඒ කෙටි හමුවීමෙන් පස්සේ අඩු වෙලා තිබුණා.
“ආකාශ්”
ඒ නම ඇයට හිතෙන් කිහිප වතාවක්ම කියවුණේ ඉබේටම.
“ආකාශ්”
ඒ නම ඇයට හිතෙන් කිහිප වතාවක්ම කියවුණේ ඉබේටම.
“මට මොකද මේ වෙලා තියෙන්නේ?”
ඇය තමන්ගෙන්ම ඇහුවා.
ඇය phone එක අතට ගෙන Screen එක unlock කර අලුත් messages ඇත්දැයි බලා ආයෙත් phone එක ඇඳ උඩම තැබුවා.
ඊළඟ මොහොතේ—
බ්‍රීස්… බ්‍රීස්… Phone එක vibrate වුණා පාරමී ඒ දිහා බැලුවා. Screen එකේ තිබුණේ— Unknown Number(නොදන්න අංකයක්) ඇගේ ඇස් ටිකක් කුතුහලයෙන් වගේ සිහින් වුණා.
“මේ වෙලාවේ?”
ඇය phone එක අතට ගත්තා. Whatsapp Message එකක්. එහි දිස්වුණේ එකම එක වාක්‍යයක් විතරයි.
“අද ඔයාට හම්බවුණු අමුතුම කෙනා මමද?”
පාරමීගේ මුහුණේ තිබුණු සිනහව තත්පරයකින් නැති වී ගියේ ජනේලයක් අසල දැල්වෙමින් තිබුණ ඉටිපන්දමක් තද සුළඟකින් නිවී ගියාක් මෙණි. ඇය එම message එක නැවත වතාවක් කියෙව්වේ ඇය දැකපු දේ තහවුරු කරගැනීමටය.
“අද ඔයාට හම්බවුණු අමුතුම කෙනා මමද?”
“මේ කවුද?”
ඇය ඉතාමත් පහළ හඬකින් තමන්ටම කියාගත්තා.
ඇගේ මතකයට මුළින්ම ආව කෙනා වුණේ— ආකාශ්.
ඒත් ඊළඟ තත්පරයේම ඇයට මතක් වූයේ. ආකාශ් මගේ number එක ගත්තේ නැහැනෙ. ඔහුගේ number මම ඉල්ලුවෙත් නැහැනෙ.
එහෙනම්?
ඇගේ ඇඟිලි keyboard එක මතට ගියත් ටික වේලාවක් ඇය type නොකර හිටියේ මේ කුමක්ද සිදුවන්නේ කියා ඇයට හිතාගන්න බැරි වූ නිසයි. නමුත් අවසානයේ ඇය reply කළා.
“ඔයා කවුද?”
Send.
Message එක ගියා.
ඇය screen එක දිහා බලාගෙන හිටියා.
තත්පර පහක්.
දහයක්.
තත්පර විස්සක්.
ඊට පස්සේ ඔන්න තිරයේ දිස් වුණා —
Typing…
පාරමීගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා.
Typing…
ඒක තත්පර කිහිපයක් තිබුණා.
ඊට පස්සේ නැති වුණා.
ආයෙත්—
Typing…
ඇය phone එක තදින් අල්ලාගෙන හිටියා.
අවසානයේ message එක ආවා.
“අද coffee shop එකේදී ඔයා කියපු දෙයක් මතකද?”
පාරමීගේ මුහුණ වෙනස් වුණා.
ඇයව ඇඳේ සීරුවෙන් ඉන්ඳවුණා කිව්වොත් හරි.
Coffee shop.
ඒ වචනය දැක්ක මොහොතේම, ඇගේ හිතට ආවේ මේක සාමාන්‍ය message එකක් නෙවෙයි කියලා.
මේ පුද්ගලයා අද coffee shop එකට ආවවත්ද?.
ඒත් කොහොමද?
ඇය screen එක දිහා බලාගෙන හිටියා.
ඇගේ මතකය ආපහු ඒ coffee shop එකට ගියා.
කවුළුව ළඟ තිබුණු table එක.
වැස්සෙන් තෙමුණු glass එක.
Coffee cups දෙක.
ආකාශ්ගේ සිනහව.
ඔහු කියපු කතා.
ඇය කියපු දේවල්.
ඒ අතරින් කවුරුහරි පිටස්තර කෙනෙක්ට ඇහෙන්න දැනගන්න තරම් හයියෙන් දෙයක් අපි කතා වුණාද?
ඇය ආකාශ් එක්ක කතා කළේ මොනවගේ දේවල් ගැනද.
Movies.
Coffee.
Jobs.
ජීවිතය.
දෙන්නාටම දැනෙන ඒ අමුතු තනිකම.
ඒත්…
ඒත් ඒ table එකේ අපි දෙන්නා විතරයිනේ හිටියේ කියලා ඇයට මතක්වුණා.
ඇය තවත් message එකක් type කළා.
“ඔයා අපිව දැක්කාද?”
Send.
මෙවර පිළිතුරක් ආවේ ඉක්මනින්.
“දැක්කා විතරක් නෙවෙයි.”
පාරමීගේ හදවත තවත් වේගයෙන් ගැහෙන්න ගත්තා.
ඊළඟ message එක එනකම් ඇය screen එක දිහා බලාගෙන හිටියා.
නමුත් කිසිවක් ආවේ නැහැ.
“දැක්කා විතරක් නෙවෙයි…?”
ඇය ඒ වචන තමන්ටම නැවත කියාගත්තා.
ඒ මොහොතේ ඇයට තවත් දෙයක් මතක් වුණා.
ඒ ආකාශ්ගේ number එකවත් ඇය දන්නේ නැහැනෙ කියලා.
ඇය phone contacts විවෘත්ත කළා.
Search කළා.
“Akash.”
කිසිම result එකක් නැහැ.
ඇය contacts වහලා ආයෙත් messages වෙත ගියා.
“මම මේ ගැන ආකාශ්ට කියන්නෙවත් කොහොමද”
කියන අසරණ හැඟීම ඇගේ හිතට ආවා.
කවුරුහරි අපිව follow කරාවත්ද?
කවුරුහරි coffee shop එකේදී අපිදෙන්නා දිහා බලන් හිටියාවත්ද?
ආකාශ්ට මේ ගැන දැනුම් දෙන්නේ කොහොමද?
මම එයාගේ නම විතරයිනෙ දෙයියනේ දන්නේ.
“ආකාශ්.ආකාශ්.ආකාශ්.”
ඇය තව මොහොතක් නිහඬව සිට.
ඊළඟට ඇය phone එක ගෙන social media වල ඔහුව සොයන්න පටන් ගත්තා.
Akash.
Akash Colombo.
Akash Digital Marketing.
Results ගොඩක් තිබුණා.
ඒත් ඒවා අතරින් ඔහු කවුද කියලා හඳුනාගන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ.
ඇය coffee shop එකේදී ඔහු කියපු දේවල් මතක් කළා.
Digital marketing company එකක වැඩ කරනවා.
ඒත් company එකේ නම?
ඇය ඒක අහලා තිබුණේ නැහැ.
ඇය තමන්ගේම මෝඩකම ගැන කේන්ති ගත්තා.
“මම ඔහු ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ නේ…”
ඒ මොහොතේ—
බ්‍රීස්…
Phone එක ආයෙත් vibrate වුණා.
Unknown Number.
“ඔයාට මතක නැද්ද?”
පාරමීගේ ඇඟ සීතල වුණා.
“මොනවාද?”
ඇය reply කළා.
ඉතාමත් කෙටි වේලාවකින් message එකක් ආවා.
“ඔයා අද කිව්වා… සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ හේතුවක් තියෙන නිසා කියලා.”
පාරමීගේ ඇස් විශාල වුණා.
ඒ වචන.
ඒක ඇත්තටම ඇය අද coffee shop එකේදී කිව්වා.
ඇය ආකාශ් එක්ක කතා කරද්දී, ජීවිතය ගැන කතා කරන අතරේ ඒ වචන කියලා තිබුණා.
ඒක වෙන කවුරුත් දන්නේ නැහැ.
අඩුම තරමේ ඒ ලඟ මේසයේ හිටපු අයටවත් ඇහෙන්න කිව්වේ නෑනේ, ඇය හිතුවේ එහෙමයි.
ඇය phone එක table එක මත තැබුවා.
එකපාරටම කාමරය වෙනස් වුණා වගේ දැනුණා.
එතෙක් ඇයට හුරුපුරුදු, ආරක්ෂිත තැනක් වගේ පෙනුණු ඇගේම bedroom එක දැන් ටිකක් අමුතුයි වගේ දැනෙන්න පටන් ගත්තා.
ජනේලයෙන් පිටත වැස්ස තවමත් වැටෙනවා.
ටික්… ටික්… ටික්…
වැහි බිංදු වීදුරුවට වැටෙන හඬ ඇයට පැහැදිලිව ඇහුණා.
ඇය නැගිටලා ජනේලය ළඟට ගියා.
ජනෙල් රෙද්ද ටිකක් විවෘත කළා.
පිටත parking area එක දිහා බැලුවා.
හිස්.
වීථි ලාම්පුවක එළියෙන් පෙනෙන තෙමුණු කොන්ක්‍රීට් අතුරපු parking එකයි.
වාහන කිහිපයකුයි පමණයි.
වෙන කවුරුත් නැහැ.
ඇය curtain එක ආයෙත් වහන්න හදන මොහොතේ—
ඇගේ දුරකථනය ආයෙත් vibrate වුණා.
ඇය ඉක්මනින් ආපහු හැරුණා.
Unknown Number.
මෙවර message එකක් නෙවෙයි.
Photo එකක්.
පාරමීගේ හදවත තදින් ගැහුණා.
ඇය photo එක විවෘත්ත කළා.
Loading…
තත්පරයක්.
දෙකක්.
ඊට පස්සේ—
ඡායාරූපය screen එක පුරා දිස් වුණා.
පාරමීගේ හුස්ම හිර වුණා.
ඒ—
ඇය සහ ආකාශ්.
Coffee shop එකේ.
අද සවස.
ඔවුන් දෙන්නා එකම table එකක ඉඳගෙන කතා කරන මොහොතක්.
ඡායාරූපය අරන් තිබුණේ coffee shop එකෙන් පිටත සිටින කෙනෙක් වගේ.
වැස්සෙන් තෙමුණු glass එක හරහා.
ඒ නිසා photo එක ටිකක් අපැහැදිලියි.
ඒත් ඒ දෙන්නා පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.
පාරමීගේ අත් වෙව්ලන්න පටන් ගත්තා.
“නෑ…”
ඇය ඉතාමත් පහළ හඬකින් කිව්වා.
ඇය photo එක zoom කළා.
Coffee shop එකේ glass window එක.
ඇය.
ආකාශ්.
ඒ table එක.
ඊට පස්සේ ඇගේ ඇස් background එකට ගියා.
Photo එකේ ජනෙල් වීදුරුව මත පෙනෙන ඡායාවේ ඉතාමත් සියුම් සෙවනැල්ලක් මෙන් දිස්වන කෙනෙක් පෙනුණා.
කවුරුහරි.
කවුළුවෙන් පිටත.
Phone එකක් අතේ තියාගෙන.
ඡායාරූපයක් ගන්නවා වගේ.
මුහුණ පෙනෙන්නේ නැහැ.
ඒත් ඒ පුද්ගලයාගේ body shape එක පෙනුණා.
පාරමී photo එක තවත් zoom කළා.
ඇගේ හුස්ම නැවතුණා.
ඒ ඉරියව්ව…
ඒ උස…
ඒ උරහිස්…
ඒ හැඩරුව…
ඇයට ඒක හුරුයි.
හරිම හුරුපුරුදුයි.
ඇගේ මනස එකම නමක් කියන්න පටන් ගත්තා.
ආකාශ්.
“ඒ… ආකාශ්ද?”
ඇය තමන්ගෙන්ම ඇහුවා.
ඒත් එහෙම වෙන්න බැහැ.
ආකාශ් ඇයත් එක්ක coffee shop එකේ හිටියේ ඔහුගේම table එකේ.
එහෙම photo එකක් ගන්න පුළුවන් කමක් ඔහු තිබුණේ නැහැ.
එහෙනම්…
ඒ ඡායාරූපෙ ඉන්න කෙනා කවුද?
ඇය photo එක තවත් විශාල කළා.
ඒ මොහොතේම photo එකට යටින් තවත් message එකක් ආවා.
“ඔයාලා දෙන්නා හොඳ සන්ධ්‍යාවක් ගතකරා වගේ පේනවා.”
පාරමීගේ මුළු ඇඟම සීතල වෙලා ගියා.
ඇය phone එක අතින් තදින් අල්ලාගෙන හිටියා.
ඊළඟ message එක එනකම් බලාගෙන හිටියා.
තත්පර කිහිපයක් ගත වුනා කිසිම පණිවිඩයක් ආවේ නැහැ.
ඊට පස්සේ—
බ්‍රීස්…
“ඒත් ඔයා ඔහු ගැන තවම කිසිම දෙයක් දන්නේ නැහැ නේද?”
පාරමීගේ ඇස් phone screen එකෙන් ඉවතට ගියේ නැහැ.
ඇය reply කරන්න keyboard එක open කළා.
“ඔයා කවුද?”
Type කළා.
ඒත් Send කරන්න කලින් ඇය නතර වුණා.
ඇගේ හිතට තවත් ප්‍රශ්නයක් ආවා.
මේ මනුස්සයා මන් ගැන තව කොච්චර දේවල් දන්නවා වෙන්න පුළුවන්ද?
ඇය message එක delete කළා.
ඒ වෙනුවට type කළේ—
“මගෙන් ඔයාට මොනවද ඕනේ?”
Send.
මෙවර reply එකක් ආවේ නැහැ.
විනාඩියක්.
දෙකක්.
පහක්.
දහයක්.
කිසිම දෙයක් නැහැ.
ඒ නිශ්ශබ්දතාව message එකකට වඩා බය හිතෙන දෙයක් වුණා.
පාරමී bed එකේ වාඩි වුණා.
කාමරයේ ලයිට් සියල්ලම on කළා.
ඒත් ඇගේ බය අඩු වුණේ නැහැ.
ඇය ජනෙල් රෙදි ආයෙත් පරීක්ෂා කළා.
දොර lock කරලද කියලා බලන්න ගියා.
Lock කරලා තිබුණා.
ඇය ආපහු bed එකට ආවා.
Phone එක අතට ගත්තා.
Photo එක තවම විවෘත්තව තිබුණා.
ඇය ඒ අඳුරු ඡායාව දිහා බලාගෙන හිටියා.
මේ message කරන්නෙ ආකාශ්ද?
නැත්නම් ඇගේ බයට ඇයට පෙනෙන හිතේ ඇතිවුණ මායාවක්ද ?
ඇය phone එක table එක මත තැබුවා.
ඒ මොහොතේ screen එක ආයෙත් දැල්වුණා.
Unknown Number.
මෙවර message එකක් තිබුණේ නැහැ.
ඒ වෙනුවට—
Voice message — 0:07
පාරමීගේ හදවත වේගයෙන් ගැහුණා.
ඇය ඒක play කරනවද නැද්ද කියලා තීරණය කරගන්න බැරිව හිටියා.
අවසානයේ ඇය volume එක අඩු කරලා play කළා.
පළමු තත්පර දෙකේදී ඇහුණේ වැස්සෙ හඬ.
ඊළඟට…
දුරින් වාහනයක් යන ශබ්දයක්.
ඊට පස්සේ ඉතාමත් පහළ පිරිමි හඬක්.
“පාරමී…”
ඇගේ මුළු ශරීරයම ගල් වුණා.
ඒ හඬ…
ඇය ඒ කටහඬ අඳුරන්නේ නැහැ.
නමුත්…
ඒ හඬේ රිද්මයේ කිසියම් හුරුපුරුදු බවක් තිබුණා.
Voice message එක එතනින් නතර වුණා.
පාරමී phone එක අතේ තියාගෙන නිශ්ශබ්දව හිටියා.
ඇය ආකාශ්ගේ හඬ මතක් කළා.
Coffee shop එකේදී ඔහු කතා කළ විදිහ.
ඒ හිනාව.
ඒ සංසුන් කටහඬ.
ඇය තමාගේම හිතට කියාගත්තා—
“නෑ… මේ එයා නෙවෙයි.”
ඒත් ඇගේ හිත ඇයට ඒක සම්පූර්ණායන්ම විශ්වාස කරන්න ඉඩ දුන්නේ නැහැ.
ඇය photo එක ආයෙත් open කළා.
වීදුරුව මත පෙනෙන ඡායාව දිහා බැලුවා.
ඒ හැඩහුරුව.
ඒ ඉන්න ඉරියව්ව.
ඇගේ ඇස් තවත් විශාල වුණා.
ඇය phone එකේ brightness වැඩි කළා.
Photo එක zoom කළා.
එකපාරටම—
වීදුරුව මත පෙනෙන ඡායාවෙ සිටින පුද්ගලයාගේ අතේ තිබුණු phone එක ඇයට පෙනුණා.
පාරමීගේ හදවත තදින් ගැහුණා.
ඇය photo එකෙන් ඇස් ඉවතට ගන්න බැරිව හිටියා.
ඊළඟට ඇය හෙමින් screen එක පහළට scroll කළා.
අලුත් message එකක්.
“ඔයාට තවමත් හිතෙනවද ඔයා අද ඔහුව හම්බවුණේ අහම්බෙන් කියලා?”
පාරමී කිසිම පිළිතුරක් දුන්නේ නැහැ.
ඇය phone එක අතින් තදින් අල්ලාගෙන හිටියා.
ඇගේ හිතේ එකම ප්‍රශ්නයක්.
“ආකාශ් කියන්නේ කවුද?”
ඒත් ඊටත් වඩා බරපතළ ප්රශ්නය.
“අද coffee shop එකේදී අපි දෙන්නා දිහා බලාගෙන හිටියේ කවුද?”
ඇය photo එකේ ඡායාවක් සේ පෙනුණ ඒ රූපය දිහා ආයෙත් බැලුවා.
ඒ අඳුරු සෙවනැල්ල…
ඒ ඉන්න විදිහ…
ඇගේ මතකයේ තිබුණු ආකාශ්ගේ හැඩයට පුදුම විදිහට සමානයි.
පාරමීගේ ඇඟිල්ල photo එකේ ඒ සෙවනැළි රුව මත නතර වුණා.
ඇය ඉතාමත් පහළ හඬකින් කිව්වා—
“ආකාශ්… ඔයා ඇත්තටම කවුද?”
ඒ මොහොතේම—
බ්‍රීස්…
අලුත් message එකක්.
ඇය screen එක දිහා බැලුවා.
Unknown Number.
“හෙට උදේ 9:00ට, ඔයාට ආකාශ් ගැන දැනගන්න ඕනේ නම්, තනියම එන්න.”
ඊට පහළින් location එකක්.
Colombo — විහාරමහාදේවී උධ්‍යානය.
පාරමීගේ ඇස් location එක මත නතර වුණා.
ඇය phone එක තදින් අල්ලාගෙන හිටියා.
ඇගේ හිත කිව්වේ—
යන්න එපා.
ඒත් ඇගේ හදවතේ තිබුණු එකම ප්රශ්නය කිව්වේ—
“ආකාශ් ගැන ඇත්ත දැනගන්න ඕනෙද, නැද්ද?”
ඇය තිරය දිහා බලාගෙන නිශ්ශබ්දව හිටියා.
පිටත වැස්ස තවමත් වැටෙනවා.
කොළඹ නගරය නිහඬව දිලිසෙනවා.
ඒත් පාරමීට දැන් තේරුණා—
අද coffee shop එකේදී ඇයට හමුවුණේ ආකාශ් විතරක් නෙවෙයි.
කවුරුහරි තවත් කෙනෙක් ඔවුන් දෙන්නා දිහා බලාගෙන හිටියා.
ඒ කෙනා කවුද?
ආකාශ්ද?
නැත්නම් ඔහු ගැන දන්න වෙන කෙනෙක්ද?
ඇය තවමත් ඒක දන්නේ නැහැ.
ඒත් එක දෙයක් නම් පැහැදිලියි.
හෙට උදේ 9:00ට ඇය තීරණයක් ගන්න ඕනේ.
යනවද?
නැත්නම් මේ සියල්ල අමතක කරලා දානවද?
ඇය phone එක screen-lock කරලා bed එක මත තැබුවා.
ඒත් තත්පර කිහිපයකට පස්සේ—
screen එක ආයෙත් දැල්වුණා.
Unknown Number.
අලුත් message එකක්.
“තව දෙයක්… ආකාශ්ට ඔයාව ඔයා හිතන තරම් අහම්බෙන් හම්බවුණ කෙනෙක් නෙවෙයි.”
පාරමීගේ හුස්ම නතර වුණා.
ඇය message එක දිහා බලාගෙන හිටියා.
ඊට පස්සේ…
Unknown Number එකෙන් message එක delete වුණා.
ඇගේ screen එකේ ඉතිරි වුණේ එකම එක දෙයයි.
11:11 PM
පාරමීට ඒ වෙලාව අමතක වෙන්නේ නැති බව ඇයට තේරුණා.
මොකද…
ඒ රාත්රියේදී ඇයට දැනගන්න ලැබුනේ ආකාශ් ගැන තිබුණු පළමු රහස විතරක් නෙවෙයි.
ඇයගේම ජීවිතය ගැන තිබුණු ලොකුම රහසක දොරත් ඒ රාත්‍රියේ විවෘත වුණා.
මතු සම්බන්ධයි…
Episode 03 — “ඒ හෙවනැල්ලෙන් පෙනුණේ ආකාශ්ද?”
🎁 Recent Gifts
🍫
Infinity Boy
💝 Support SureChat Stories
Loved this story? Send a gift or tip to show your appreciation!
🔒 Please login as a member to send gifts
STORY SERIES
2 episodes
මේක නම් මාරම කතාවක්.